අනුන්ගෙ සපත්තු

අනුන්ගෙ සපත්තු

“මන්ත්රී තුමා… ඇයි අපි මේක කරන්නේ කියලා ආයෙත් සැරයක් අපිට පැහැදිලි කරලා දෙනවද?”

සමන්ත සිල්වගෙ නිදි බර, විඩාපත් කට හඬින්ම තේරෙණවා මන්ත්රී තුමාගෙ අදහසට මිනිහා සම්පූර්ණෙන්ම එකඟ නැති බව. මන්ත්රී වරු කිහිප දෙනෙක් වෙනුවෙන් ප්රචාරක කටයුතු සපයා මනා පලපුරුද්දක් ඇති සමන්ත සම්පූර්ණ අබෝධයක් නැතුව අලුත් වැඩ සටහනක් බාරගැනීමට අකමැති බව සභාවේ සියල්ලෝම දන්නවා. පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකයෙක් මෙන්ම දේශපාලන උපාය කළමනාකරනයේ දක්ෂයෙක් ලෙස සමන්තගේ ප්රශ්න නොතකා සිටීමට මන්ත්ර්රී තුමා වත් නිර්භීත නෑ. නවක මන්ත්රී වසන්ත වීරකෝන් සිනා මුහුණින් හැටපස් හැවිරිදි සමන්ත සිල්වා දිහා බැලුවේ මිත්ර වැඩිහිටියෙකුට පෙන්වන ගෞරවයෙන්.

“මිස්ට සිල්වට මේ අදහස මෝඩ එකක් හැටියට පෙනෙනවා ඇති - ඒක මට තේරුම් ගන්න පුළුවන්. නමුත් සැම්සන්ගෙ යෝජනාව ටිකක් ගැඹුරට සලකා බලන්න වටිනවා කියලා මම හිතන්නේ”

“ඇයි එහෙනං සැම්සන් දැන් මෙතන නැත්තේ?”

සමන්තගෙ ප්රශ්නෙන් මන්ත්රීගෙ හිනාව වෙනස් වුනේ නෑ.

“එයාගෙම ඕන කමට - මිනිහා කිව්වේ එයා මෙතන නැතිනම් ප්රතිචාර අවංකව ඉදිරිපත්වෙයි කියලා - හැම පැත්තෙන්ම. මම ඒකට එකඟවුනේ ඒ කතාව හරි කියලා හිතුන නිසා. මිස්ට සිල්වට ඒකේ වැරැද්දක් පෙනෙනවද?”

ඒ සැරේ සමන්තත් හිනා මුහුණක් ආරූඪ කරගත්තා.

“කිසි වැරැද්දක් නෑ මන්ත්රීතුමා… මං හිතුවේ එයා හිටියනම් අපිට ප්රශ්න මොනවත් තියෙනවානම් ඒවට උත්තර දෙන්න පුළුවන්… නමුත් ඒක කරදරයක් නෙවෙයි - මන්ත්රී තුමාටම පුළුවන් ඕනම ප්රශ්නෙකට උත්තර දෙන්න… හැබැයි සැම්සන් මෙතන හිටියත් නැතත් මම මගෙ අදහස්නම් කෙලින්ම ඉදිරිපත් කරනවා!”

“ඒක අපි ඔක්කම දන්නවා!”

මන්ත්රී මෙහෙම කිව්වේ සභාවම හිනස්සවමින්. සිනාව අඩුවේගන යන්න ඇරලා මන්ත්රීතුමා කතාව පටන්ගත්තේ සන්සුන්ව.

“ඔන්න මේකයි ප්ලෑන් එක…

……………………………

දහය පහුවෙලා ගෙට ගොඩවුන සමන්තට පොඩි දුව තේ එකක් හදලා දීලා තාත්තත් එක්ක දවසේ තොරතුරු බෙදා හදා ගත්තා.

සමන්තගෙ පවුල නැතිවෙලා තවම අවුරුදු දෙකයි. මාස කිහිපයකින් කසාද බඳින්න ඉන්න පොඩි දුව ඒ අවුරුදු දෙකේම තාත්තගෙ ඕනෑ එපාකම් බැලුවා. ඊලඟ ඡන්දෙන් පස්සේ දේශපාලන වැඩකටයුතු වලින් අයින් වෙන බවට තාත්තගෙන් පොරොන්දුවක් අරගෙනයි මාලා අවුරුදු තුනක පෙම්වතා බඳින්න එකඟ වුනේ. මොන පොරොන්දු දුන්නත් තාත්තා දේශපාලනෙන් සම්පූර්ණෙන්ම අයින් නොවන බව මාලා දන්නවා. නමුත් ටිකක් හරි හිතට සැනසුමක් ලැබුනේ තාත්තා ඉස්සර වගේ තමාගේ පක්ෂයටත් මැති ඇමතින්ටත් ලොකු ලෙන්ගතු කමක් නොපෙන්වීමයි.

“තාත්තා රෑට මොකවත් කෑවද?”

“හ්ම්… ඔවු”

“මොනවද කෑවේ?”

සමන්ත ටිකක් කල්පනා කරා.

“මීටිම පටන්ගන්න ඉස්සර විජෙයි මමයි ඉස්සරහ කඩෙන් වඩේ කෑවා… මන්ත්රීතුමා හතට විතර කෑම පැකට් ඕඩර් කරාට ඒවා කනවා මතක නෑ…”

“මම විනාඩියෙන් කෑම රත් කරනවා… තාත්තට ඇඟ සෝදගන්න ඕනනම්… ඩ්රින්ක් එකක් ඕනනම්… වෙලා තියෙනවා”

“දුව නිදාගත්තොත් නරකද? හෙට වැඩ නේද? මම තියෙන එකක් රත්කරගන්නං… පොඩී අඩියක් ගහලා!”

විනාඩි පහකින් සමන්ත බීම වීදුරුවත් අරගෙන කෑම මේසේ ලඟට යනකොට කෑම ඇරලා. මාලා තේ කෝප්පෙකුත් අරගෙන වාඩිවෙලා ඉන්නවා තාත්තා එනකල්. තාත්තා වෙනදට වඩා කල්පනාකාරීව ඉන්න බව මාලට පෙනෙනවා.

“අද මීටිමේ අමුතු මොනවත් වුනාද?”

“අපෙ මන්ත්රී තුමාගෙ අලුත් ප්රොජෙක්ට් එකක්… ටිකක් මෝඩ එකක්!”

“මොකද මිනිහා කරන්න හිතාගෙන ඉන්නේ?”

සමන්ත පාන් පෙති දෙකක් පිඟානට දාගෙන පරිප්පුයි සම්බලුයි බෙදා ගත්තේ මාලා ලඟට තල්ලු කරපු මාලු දීසිය නොඅල්ලා. කතාව පටන්ගත්තේ වීදුරුවේ ඉතිරි බීම පොඩ්ඩ ඉවර කරලා.

“දුවට මතකද අර සැම්සන් සොයිසා? ලඟදී යුනිවසිටියෙන් ආ කොල්ලා - දවසක් මෙහෙත් ආවා. මිනිහා මන්ත්රීතුමාගෙ ඔළුවට දාලා දවස් කීපයක් සාමාන්ය මිනිහෙක් හැටියට ජීවත් වෙලා බැලුවොත් නරකද කියලා. අර ඉස්සර කාලේ රජ කුමාරයෝ වෙස්වලාගෙන ගමන් ගියා වගේ! මෑන් කියන්නේ කෑම පාර්සලයක් බැඳගෙන උදේ බස් එකේ/කෝච්චියේ වැඩට යන කෙනෙක් අනුගමනය කරොත් රටේ තත්වය තේරුම් ගන්න ලේසිවෙයි කියලා!”

“ඌට පිස්සු!”

“පිස්සුවක් වෙන්න බෑ දුව - මං දන්න තරමට කාරණා නොතේරන මෝඩයන්ට පිස්සු හැදෙන්නෙත් නෑ!”

“මං කිව්වේ ඔය සැම්සන් ගැන නෙවෙයි - තාත්තගෙ මන්ත්රීතුමා ගැන!”

“මාත් කතා කරේ එයා ගැන තමා!”

මාලට හිනා ගියා.

“ඔය මන්ත්රියා රජ කුමාරයෙක් නෙවෙයි නේද? රටේ තත්වය දැන් සොයන්න මෙච්චර කල් හිටියේ පොල් ලෙලි ගොඩක් යටද?“

සමන්ත බරපතළ මුහුණක් ආරූඪ කර ගත්තා.

“ඇත්තටම මිනිහා මෝඩයෙක් නෙවෙයි… නරක මිනිහෙකුත් නෙවෙයි. හොඳ උපදේශකයෝ හිටියොත් කාලෙකට පස්සේ හොඳ ඇමති කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි තවම දුවන්නේ ඡන්දෙට පුරවපු ඉන්ධන වලින්… මොලේ පාවිච්චි කරන්න වෙලාවක් ලැබිලා නෑ…”

ඒ සරේ මාලත් කතා කරේ සන්සුන්ව.

“ඉතින් තාත්තා වගේ අය ඉන්නේ ඒකට නේද? ඔය වෙස් වලාගන යන ගමන අතාරින්න කියලා තාත්තට බැරිද කියන්න? අවවාද කරන්න?”

“ඡන්ද කොට්ටාශයට වඩා පාර්ලිමේන්තුව වෙනස් කියලා තේරුම් ගන්න කල් යනවා… හැම පැත්තෙන්ම උපදෙස් ලැබුනට තවම ඒවගෙ හරි වැරදි තේරුම් ගන්න තරම් අපෙ මනුස්සයා තැලිලා පොඩිවෙලා නෑ. එහෙම අයට හැමෝම එක සමානයි. කවුරුත් කියන දෙයක් කියන්නේ හොඳ හිතෙන් කියලා සලකන අහිංසක ගතිය තවම නැතිවෙලා නෑ. … අනික් අතට… කොහොමටත් වැරැද්දක් කරනවා නම් ඒක මුලදිම කරලා දාන එක හොඳයි!”

“තාත්තා එයාගෙ මේ ගොන්පාට් එක නවත්තන්න උත්සාහ කරන්නෙ නෑ එහෙනං?”

සමන්ත ඒකට හිනාවුනා විතරයි.

……………………………

සමන්තට සැම්සන් සොයිසා මුණගැහුනේ සතියකට පස්සේ, මන්ත්රීතුමාගේ ඡන්ද කොට්ඨාස කන්තෝරුවේදී. නිතරම හොදින් ඇඳ පැළඳ, සිනා මුහුණෙන් ඉන්න කඩවසම් තරුණයෙක් ලෙස සැම්සන් කන්තෝරුවේ පමණක් නොව අවට කඩසාප්පු/හෝටල් වලත් ජනප්රියයි. සමන්ත කඩසාප්පු තියා කන්තෝරුවට එන මන්ත්රීතුමාගේ සමහර ආධාරකාරයෝවත් නමින් හඳුනන්නෙ නෑ.

සමන්තත් සැම්සනුත් අතර දේශපාලනය හැර වෙන් කිසි සමානත්වයක් තිබුනෙ නැතත් සැම්සන්ට පක්ෂයේ හොඳ අනාගතයක් ඇති කෙනෙක් හැටියටයි සමන්ත දැක්කේ.

“හලෝ සෑම්! වෙලා තියෙනවද අර මන්ත්රීතුමා සාමාන්ය කෙනෙක් හැටියට ඉන්න ප්රොපෝසල් එක ගැන කතා කරන්න?”

“ගුඩ් මෝනිං මිස්ට සිලවා… මට විනාඩියක් දෙනවද කහට එකක් අරගෙන එන්න - උදේට කෑවෙ නෑ!”

“මටත් කහට කෝප්පයක් ගේන්න පුළුවන්ද? ආපුහම සල්ලි දෙන්නම්… ලොක්කගෙ කාමරේ එහෙනං?”

සමන්ත මන්ත්රීතුමා පාවිච්චි කරන කාමරේ මේසේ ලඟ වාඩිවෙලා විනාඩි දෙකකින් සැම්සනුත් ඇවිත් වාඩිවුනා. වැඩිය වටින් පිටින් නොගොස් සමන්ත කෙලින්, මාතෘකාවට ගියා.

“මට තේරෙනවා මන්ත්රීතුමා කෙළින්ම ජනතාවගේ කරදර අත්දැකීමේ වටිනාකම. ඒක හොඳ අදහසක්… නමුත් සෑම් හිතලා බැලුවද ඒකේ අනික් පැත්ත? වෙන්න පුළුවන් අනතුරු?”

“ඔවු මිස්ට සිල්වා. අපි බැලුවා… සුදුසු නවාතැනක්, වැඩට යන්න තැනක්, හමුවෙන අයට කියන කතාව… තමා කවුරුද යන්න රහසිගතව තබා ගැනීමේ වටිනාකම… ඒ වගේම කවුරුත් බොස්ව හඳුනාගත්තොත්, නැත්නම් මොකක් හරි අකරතැබ්බයක් වුනොත් වගේ දේත් අපි කල්පනා කරා…”

“මේක දවස් කීයකටද කරන්න අදහස?”

“දවසක් දෙකක් කරලා බලනවා - මං කැමතියි සතියක් කරන්න, සති අන්තයත් එක්ක…”

“ඇයි?”

“අඟහරුවාදා වගේ නෙවෙයි සිකුරාදා… සෙනසුරාදා ඊට හොඳටම වෙනස්. අපි හිතුවේ … ඒ කියන්නේ අපි කීපදෙනෙක්… හිතුවේ හරියට වැඩේ සිද්ධවුනොත් ලඟදී දිනපු ඡන්දය අමතක කරලා ඉස්සරහට කරන්න ඕන දේ ගැන හිත යොදන්න ලේසි වෙයි කියලා… මිස්ට සිල්වා දන්නවා බොස්ගෙ සමහර ආධාරකාරයෝ හිතන්නේ ඡන්දේ දිනපුවම අමාරුම කොටස ඉවරයි කියලා… අපෙ බොසුත් ඒ විදිහට හිතනවානම්… එහෙම දිගටම හිතයි වගේ පේනවනම් අපි දැන්මම කඩේ වහලා ගෙදර යන එක හොඳයි! … අ… සොරි මිස්ට සිල්වා… මම හිතන්නේ එහෙමයි…”

“ගුඩ්!”

“මිස්ට සිල්වා අමනාපයක් නැද්ද අපි එහෙම ප්ලෑන් කරාට? …අපි මිස්ට සිල්වට මේ ගැන නොකිව්වේ පාටියේ හුඟක් සීනියර් කෙනෙක් හැටියට අපි වගේ හුජ්ජ කොල්ලෝ කියනදේ අහන්නෙ නැතිවෙයි කියලා හිතලා… සොරි!”

සමන්ත සෑම් දිහා බලාගෙන හිටියා විනාඩියක් කතා නොකර.

“ප්රශ්න දෙකක්… සෑම් කීප සැරයක් ‘අපි’ කියලා කිව්වේ කාටද? දෙවෙනි ප්රශ්නේ - මේ ප්රොජෙක්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ කොයි වගේ ප්රතිඵලයක්ද? ප්රතිඵල විස්තර සහිතව”

ඒ සැරේ සැම්සනුයි ටිකක් වෙලා කතා නැතුව හිටියේ.

“මම ‘අපි’ කියලා කිව්වේ මගෙ සරසවි යාළුවෝ දෙන්නෙකුයි මාත් එක්ක එකට වැඩ කරපු මාධ්යවේදියෝ දෙන්නෙකුයි. අපි පස්දෙනාගෙන් මම විතරයි මන්ත්රී තුමා දන්නේ… වෙන එකක් තියා අනික් හතරදෙනාගෙන් දෙන්නෙක් අපෙ මන්ත්රී තුමාගෙ පක්ෂයට සපෝට් කරන්නෙත් නෑ… නමුත්… නමුත් මිස්ට සිල්වා හිතන්න එපා මේක බොස්ට වින කරන්න අදින කුමන්ත්රණයක් කියලා!”

සැම්සන් කතාව නවත්තලා හිනා වුනා.

“මිස්ට සිල්වා හිතනවා නම් අපි අටවන්නේ උගුලක් කියලා ඒ ගැන බොස්ට කිව්වට කමක් නෑ - නැති වෙන්නේ මගෙ රස්සාව විතරයි. එහෙම වෙනවානම් මිස්ට සිල්වගෙ දෙවෙනි ප්රශ්නෙට උත්තර දීලා වැඩක් නෑ!”

ඒ සැරේ දෙන්නම නිහඬව නිවීගෙන යන තේ තොලගෑවා. සංවාදය තීරණාත්මක තැනකට ඇවිත් ඇති බව දෙන්නටම වැටහුනා.

“මම සෑම්ට පොඩි අවවාදයක් දුන්නට කමක් නැද්ද? නාකියෙක් හැටියට මට ඒ වරප්රසාදය ඇති කියලා මම හිතන්නේ”

“මිස්ට සිල්වා කියන ඕනෑම අවවාදයක් මම අවංකව විභාග කරලා බලනවා… ඒවා පිළිගන්නවද නැද්ද කියලා කියන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ…”

“ගුඩ්! මං කියන ඕනම දෙයක් පිළිගන්නවා කිව්වනම් මේ සාකච්ඡාව මෙතනින් ඉවරයි - ඒක ගොං උත්තරයක් නිසා”

සමන්ත සිල්වා ඒ සැරේ සම්පූර්ණයෙන්ම අවංක හිනාවක් පෙන්නුවා.

“සෑම්… මන්ත්රී තුමාගේ අනාගතය තියෙන්නේ අපි අතේ. මන්ත්රී තුමා වැරදි මාර්ගයේ නොයන්න වග බලාගන්නේ අපි - ඒක අපෙ රස්සාව. අපි අපෙ රස්සාව හොඳට කරන්නනම් අපි දැනගෙන ඉන්න ඕනෑ වැරදි මාර්ගෙයි හරි මාර්ගෙයි වෙනස. ඒ ටික පිළිගන්නවද?”

පංතියේ ගුරුතුමීට කන්දෙන හෝඩියේ සිසුවෙක් වගේ සැම්සන් ‘ඔවු’ කිව්වේ ඔළුව පහත් කරලා.

“මන්ත්රී තුමා නොමග යවන ක්රම බොහොමයි, ඒවට උත්සාහ කරන කන්ඩායම් ගොඩයි. අපි හුඟක් වෙලාවට එතුමගෙ ‘වැරදි වැඩක්’ කියලා කියන්නේ නෑදෑයෙකුට හරි වෙන කිට්ටුවන්තයෙකුට ස්ථාන මාරුවක් හදලා දෙනවට. නේද? හැබැයි ඒ වැරැද්ද වගේ කී ගුනයක් ලොකුද පක්ෂ සාමාජිකයෝ එකතුවෙලා අනික් පක්ෂෙට වැඩ කරපු අය තුත්තුකුඩියට මාරු කරලා දානකොට? ඒක අපෙ මන්ත්රී තුමා කරන දෙයක් නොවුනත් එතුමාට ඒක නවත්වන්න බලය නැතිවුනත් බැනුම් අහන්නේ අපෙ මන්ත්රී තුමා. සාධාරණ නැතිවුනත් ඒක ඇත්ත”

සමන්ත මේසේ උඩ තිබූ කඩදාසි ගොන්නක් එහාට මෙහාට තල්ලුකළේ එයින් මොලේ පාවිච්චියට උදව්වක් ලැබෙනව වගේ.

“සෑම් මේවා දන්නවා. කරන වැරදිත් නොකරන වැරදිත් යන්නේ මන්ත්රී තුමා පිටින්. ඒවට වගකිය යුත්තේ අපි වුනත් අපේ නම් ඒවට ගෑවෙන්නේ කලාතුරකින්. ඒ නිසා තමා මන්ත්රී වෙනුවෙන් වැඩ කරන අය - අපි වගේ අය - හොඳටම නරක් වෙලා තියෙන්නේ. අපි වගේ අයත් අන්තිමට අපෙ රස්සාව හරියට කරනවා වෙනුවට පුළුවන් පුළුවන් විදිහට බඩ වඩා ගන්නවා!”

සැම්සන් සොයිසා ඒකට එකඟ වුනේ නෑ. කතා කරේ බලසම්පන්න කට හඬකින්

“මැති ඇමතින්ගේ සේවකයෝ සේරම එහෙම නෑ! මිස්ට සිල්වා ජෙනරලයිස් කරා වැඩී”

සමන්ත කට කොනකින් හිනාවුනා.

“ගුඩ්! මං හිතුවේ සෑම්ට නින්ද ගිහින් කියලා… හොඳ සේවකයෝ ඉන්නවා… හුඟක් අය මුළ් කාලේ හොඳ සේවකයෝ වුනත් කල් යනකොට නරක පුරුදු වලට හැඩගැහෙනවා. වගකීමක් නැතුව බලය පාවිච්චි කරන්න පුරුදු වෙනවා - ඒක ඔළුවට යනවා, පිලිකාවක් වගේ. පෝලිම් කඩාගෙන ඉස්සරහට යන්න පටන්ගන්නේ එතකොට. අනික් අයට ඇති ඉන්ධන හිඟ නැති කරගන්න ඉගෙන ගන්නවා. අලුත් කාර්, ඉඩම් එහෙමත් ගන්න පෙලඹෙනවා… එතකොට මන්ත්රී තුමා නැවත ඡන්දයක් දිනවන්න ඕනෑම දෙයක් කරනවා - හොඳ නරක නොබලා… මන්ත්රී තුමාගෙ වැරදි හංගලා, එයා සුදනා කරලා, ප්රසිද්ධියේ දන ගහලා වඳින්නෙ විතරයි නැත්තේ - ඒ සේරම තමංගෙ බඩ වඩා ගන්න…”

ඒ සැරේ සමන්ත සැම්සන් දිහා කෙලින් බලාගෙන හිටියා නිහඬව.

“සෑම් එහෙම කෙනෙක් නෙවෙයි කියලා මට හිතෙන නිසා මෙහෙම කතා කරේ. මම එහෙම හිතන එක වැරදි නම් අපි දෙන්නම මෙහෙ වැඩ කරලා ඉවරයි… මම සෑම්ගෙ වෙස් වලාගෙන යන ප්රොජෙක්ට් එකට සපෝට් එක දෙනවා එක කොන්දේසියක් එක්ක. ඒ කොන්දේසිය තමා මම දෙන උපදෙස් සලකා බලන්න එකඟ වීම - ප්රොජෙක්ට් එක පටන්ගන්න ඉස්සර”

“…අ … තැන්ක්යූ… මට තවම ශුවර් නෑ මිස්ට සිල්වගෙ ස්ථාවරය ගැන… අනික් හතරදෙනාගෙන් අහන්නෙ නැතුව උත්තරයක් දෙන්න බෑ…”

“මම ප්රශ්නයක් ඇහුවෙ නෑ සෑම්ගෙන් උත්තරයක් ලැබෙන්න. සෑම්ගෙ සගයෝ හමුවෙන්න මට ඕන කමක් නෑ. මම උපදෙස් දෙන්නේ සෑම්ට - ඒවා පාවිච්චි කිරීම නොකිරීම සෑම්ලා අතේ… අනික මම ඔය ප්රොජෙක්ට් එකට සපෝට් කරන්නේ ඒකෙන් හොඳ ප්රතිඵල ලබන්න පුළුවන් වෙයි කියලා හිතෙන නිසා - හරියට කරොත්… අනික් අය ගැන ඉගෙන ගන්න හොඳම ක්රමයක් තමා ඒ අය විදිහටම ජීවත් වීම; ඒ විදිහට හැඩ ගැසීම. සමාජ අසමතා නිසා දැන් ඒක ඉස්සරට වඩා අමාරුයි”

සමන්ත සිල්වා ආයෙත් හිනාවුනා.

“අහලා තියෙනවද ඉංග්රීසියෙන් කතාවක් ‘බිෆෝ යූ ජජ් අ මෑන්, වෝක් අ මයිල් ඉන් හිස් ශූස්’ කියලා? මිනිහෙක් මනින්න ඉස්සර එයාගෙ හපත්තු ඇඳගෙන හැතැක්මක් ඇවිදින්න. ‘කෙනෙකුගේ ජීවිතේ අත්දැකීමෙන් තේරුම් ගන්න’ කියන එක”

“ඔවු මං අහලා තියෙනවා ඒ කතාව”

“සෑම් අහලා තියෙනවද ඔය කතාවට මිනිහෙක් දීපු උත්තරේ?”

සෑම් මද සිනාවකින් බලා හිටියේ මිස්ට සිල්වගෙ දර්ශනය මොකක් වෙයිද කියලා.

“කාගෙවත් සපත්තු ඇඳගෙන හැතැක්මත් ඇවිද්දොත් ලාබ දෙකයි; එකක් තමාට තව සපත්තු කුට්ටමක් ලැබෙනවා, අනික - සපත්තු අයිතිකාරයට ආපහු ඒව ඉල්ලනත් බෑ මිනිහා හැතැක්මක් ඈත ඉන්න නිසා!”

ඒ සැරේ දෙන්නම හයියෙන් හිනාවුනා. පෙර නොතිබුන සහයෝගී සන්ධානයක් ගොඩ නැගුන බව දෙන්නටම දැනුනා.

…………………………….

මාස තුනකට පස්සේ සමන්ත සිල්වට සැම්සන් සොයිසා මුනගැහුනේ අහම්බෙන්, කොළඹ අවන්හලක.

“මිස්ට සිල්වා! කාලෙකින්”

“හලෝ සෑම්. කොහොමද?

“වරදක් නෑ… මිස්ට සිල්වා රිටයර් වෙලා ගමේ ගියා කියලා සුමනදාස කිව්වා”

“ඔවු… ගෙදර දුවට බාර දීලා ඇහැලියගොඩ ගියා. එහෙ අපෙ මහ ගෙදර කවුරුත් නැති නිසා පදිංචියටම ගියා. සෑම් කොහෙද දැන්?”

“ආපහු මාධ්යවේදී වැඩේට - මේ සැරේ රේඩියෝ එකේ. අර වෙස්වලා ගොන්පාට් එකට කෙලවුන වහාම මං අස්වුනා… උන් මට පාටියක් වත් දුන්නෙ නෑ!”

දෙන්නටම හිනා ගියා. සැම්සන් ආයෙත් කතාව පටන්ගත්තා.

“මිස්ට සිල්වගෙ කතාව හරි - ‘ප්රොජෙක්ට් එකෙන් හොඳ ප්රතිඵල ලබන්න පුළුවන් හරියට කරොත්’ – අපිට බැරිවුනා ඒක් හරියට කරන්න… මිස්ට සිල්වා වැඩට ඒම නැවෙත්තුවේ කාටවත් නොකියා - අපෙ ගොන් ප්රොජෙක්ට් එක කාලේ හිටියානම් සමහරවිට ඒක ගොඩ දාගන්න පුළුවන්”

“නෑ සෑම්… මම අයින්වුනේ මිනිස්සුන්ගෙ ගති වෙනස් කරන්න බැරිබව තේරුනාට පස්සේ. හැබැයි අයින්වෙන්න ඉස්සර මම මන්ත්රී තුමාට කිව්වා සෑම්ගෙ ප්රොජෙක්ට් එකේ වටිනාකම. මම පැයක් විතර කතා කරා - වෙස්වලා යන සතියට මෝබයිල් ෆෝන් එක, වැඩට සම්බන්ධ ලිය කියවිලි, වැඩිය ඇඳුම්… මේ වගේ සම්පූර්ණෙන්ම තහනම් ලයිස්තුවක්ම දුන්නා… හැබැයි ඒ වෙලාවේ ‘හා’ කිව්වට මට නිකමට හිතුනා මාව ගානකට ගන්නෙ නැතිවෙයි කියලා… ඒක ඇත්ත බව තේරුනේ පත්තරේ තිබුන ‘මන්ත්රී හැන්ගි හොරා’ ආටිකල් එක දැක්කට පස්සේ… මොකද ඇත්තම සිද්ධවුනේ?”

සැම්සන්ට හිනා ගියා.

“මිස්ට සිල්වා හරි - මිනිහා අවවාද පිළිපැද්දෙ නෑ. මම දීපු අලුත් මෝබයිල් එකෙන් ඉස්සරවෙලාම කතා කරලා තියෙන්නේ සුරන්ජිත්ට - පරණ ක්ලාස්මේට් කෙනෙක්. ඒ පළවෙනි දවසේ. දෙන්නා එදා රෑ ටවුමේ කෑවට බීවට වැඩි කරදරයක් වෙලා නෑ… හැබැයි පහුවදා උදේ ත්රීවීල් එකක් ගෙන්නගෙන, බස් එකේ යන්න බෑ, සෙනග වැඩියි කියලා… කොහොම හරි සිකුරාදා වෙනකොට නැවතිලා හිටපු ගෙදර තොරන් විතරයි නැත්තේ! යාළුවෝ, සපෝටර්ලා, මාධ්යවේදියෝ… වට කරගෙන! එකෙක්ගෙ කාරෙකේ ගමන, කෑවේ හොඳ හෝටල් වලින්… වෙන එකක් තියා නැවතිලා හිටපු ගෙදර අයිතිකාරයටත් සැර දාලා… අන්තිමට මට සිද්ධවුනේ වලිගේ අකුලාගෙන අයින් වෙන්න…”

සමන්ත කතාකරේ සැබෑ දුකකින්.

“ඩෝන්ට් වොරි සෑම්… මේක පාඩමක් හැටියට අරගෙන අනාගතේ දිහා බලන්න වටිනවා. සෑම් වැඩට දක්ෂයි, අලුත් අදහස් තියෙනවා, ඒවා ක්රියාවට නංවන්න බය නෑ, තවම වැඩි වයසක් නෑ… සෑම්ට හොඳ අනාගතයක් තියෙනවා. එක ගොං මන්ත්රී කෙනෙක් රස්සාවෙන් අස් කරා කියලා වැඩිය වෙනස් වෙන්න උත්සාහ කරන්න එපා!”

සැම්සන් හයියෙන් හිනාවුනා.

“මාව රස්සාවෙන් අස් කරානම් කොච්චර හොඳද! මොකද දන්නවද ඒ මන්ත්රී කියන බැල්ලිගෙ පුතා කිව්වේ? ‘වෙල් ඩන් සෑම් - මාර අදහස… පත්තර, රේඩියෝ, ටීවී පබ්ලිසිටි නියමයි! තව ඒ වගේ අදහස් තියෙනවද, පුළුවන් නම් මේ සැරේ දේශගුණ විපර්යාසයට සම්බන්ධ?